Saturday, September 28, 2013
නිමි නොනිමි....
අනිශ්චිත වූ අනාගතයක
නිශ්චිතව නිමි නොනිමි සිතිවිලි
පෙර ලෙසින් උණුහුමක් නොදැනෙන
අතීතය දෙන නිමි නොනිමි එළි
නිසල මුත් මුළු වාතලය අද
තවත් නිවි නිවි දැවෙන දිවි එළි
නවමු පැතුමක් නවමු සුවඳක්
ලැබේවා හිනැහෙන්න හෙට යළි
....
Monday, September 23, 2013
ඔන්න මම නොකිව්වැයි කියන්නෙපා හාමිනේ...
දෙතුන් මසකට එපිට
රහසෙම චපලකම් කර
හරවා තිනෙත් නළලැස
දවා හළු කල හෙයින්,
මා ලොව
ඉදින් නටනෙම් මම
ශිව සංහාර තාණ්ඩව
කළ අභියෝග පිළිගෙන...
දැවී අලුවෙද්දෙන්
තුන්ලොව මාද සමගින්
...
නුඹේ තරම් මගෙහිත හයිය නෑ අම්මේ...
දෙපයින් පිටවුනත්
අටපයින් නැවත ආවොත්
මෙතෙක් වින්දා වගේ
ඒ දුකත්
නිහඬවම ඉවසපන්
කඳුළු වැල් නොසලා...
නුඹේ කිරි ණය ගෙවන්නට
පිනක් නැති මේ පුතතු හට
සමාවී ගොඩගනින්
මා පැහෙන නිරයෙන්
සසර මතුදා බුදුවී...
Thursday, September 19, 2013
අනියත...
කාලෙකින් නොදුටු හිරු
අද යළිත් හිනැහිලා
අඳුරු බීරම පිරුණු
හාත්පස එළිවෙලා...
ඒ ඉරේ කිරණ ලැබ
තුටින් මුසපත් වෙලා
මගෙ හිතේ පැතුම් මල්
පොදි යළිත් සුපිපිලා...
ලොවට හා මගෙ ලොවට
වැහි අඳුර එන්නෙපා
අහිංසක පැතුම් මල්
හෙට පරව යන්නෙපා...
Wednesday, September 18, 2013
තවත් දවසක් ....
හැමදාමත් බලාපොරොත්තු කඩවෙන මගෙ ජීවිතේ
තවත් එක දවසක් ....
ඒත් දැනෙන වේදනාව
හැමදාම එකවගේම අළුත් ...
පුදුමයි ....
Tuesday, September 17, 2013
වැඩක් නෑ!
මේ වසේ නවම් මස
පළමුවැනිදා උදේ
සිටන් තෙක් බිනර මස
දහහතක් වූ දිනේ
කෙළි කවට සිනා රැළි
රණ්ඩු සරුවල් හා ඇඬිලි
දැකපු කණ්නාඩියෙන්
අදම අහපන් මලේ
මොකක්දෝ ප්‍රථිපලය
මම කරපු ආදරේ
එයත් උත්තර දේවි
වැඩක් නෑ
කියල!
එදා නුඹ ගල්වුනත්
අද මමයි ගල්වුනේ
අදහගන්නට බැරුව,
එච්චර තමයි වෙනස
එදා වාගෙම අදත්
නුඹ නුඹේවත් නොවෙයි
.....
Monday, September 16, 2013
මංමුලාව...
විභාගය අත ලඟයි
අතින් පොත පත දුරයි
මුළු හිතම චංචලයි
මුහුදු වෙරළක් වගෙයි...
කඳුළු පිරි නෙත් කෙවෙණි
අකුරු වැල් බොඳ කරයි
මේ නුහුරු තනිය මා
හුස්ම සිරකර දමයි...
නිවස වෙත පලායමි
නිදි ලොවේ සැඟවගමි
පසමිතුරු මනුලොවේ
ඉබාගාතේ ඇදෙමි...
Thursday, September 12, 2013
නන්නාඳුනන අප...
මගෙන් ලද ආදරය
මද නිසා හැර ගියත්
වෙනකෙකුගෙ තුරුලෙ සුව
විඳවිඳම සැනසුනත්
කඳුළු පිරි නෙතින් මට
අයැදුවා අමතකද
පුරුදු සෙනෙහස දෙන්න
හෙට දිනේදිත් තවත්.....
පුරුදු සෙනෙහස නැතත්
මිතුදමෙන්වත් උතුම්
සනසන්න සිතා ඔබ
මා අතරමන් කළත්
තනි නොකර දිවි කතර
දුරින් හිඳගෙන තවත්
නිහඬබව දුරුකලා
හොඳින් දන්නව ඔබත්.....
එපානම් ඒ ඇසුර
කුමට වෙහෙසෙමි තවත්
නුදුරු දුර සිතම හෙට
මකනු ඇත පාළුවත්
මගෙ වරද නොවේ මෙය
පෙර මෙන්ම අද දිනත්
සිනහවෙන් දිවිගෙවනු
අද මෙන්ම හෙට දිනත්....
Wednesday, September 11, 2013
ඉස්තාලෙ වහන්නට - අනේ හොඳටම පරක්කුයි....
එකෝමත් එක කාලෙක
ගිය මතකයට ආයෙත්
මග හොයාගෙන අමාරුවෙන්
lectures ගියාම....
මෙන්න මුන් කියනව,
තව ඉතුරු දෙක තුනලු,
ඉතුරු ඔක්කොම කරලලු......!
Tuesday, September 10, 2013
මග පහන් කල මැන පුරාහඳ.....
කුඩා කල මිස - විඳි සැපක් නැත
දුක තුරුළු කර - ගෙවූ දිවිමග
හඬා කඳුළින් - තෙත් කලේ නැත
සිනහවෙන් මුව - සැරසුවා මිස...
නැතක් කරදර - සිත් තැවුල්හැම
පෙර නොවූ ලෙස - ආව පෙරදින
ඉවසුවා මම - අචල කර සිත
සිතම පුදදී - දෙව්ලොවක් වෙත...
මමත් නොදැනම - එලොව පාමුල
දියව ගියදා - මගෙ පැතුම් ලොව
ගොඩනගන්නට - නැවත ඒ ලොව
දිරිය දුන් ඉම - නැගී ආ සඳ....
අදත් දිවිමග - තවත් බාධක
නැගී එන දා - ලොව අඳුරුකර
පෙනවනුව මග - පෙරට යන්නට
පහණ් සඳකැන් - දිදුළවා නෙක....
සදා නොසිඳෙන කඳුළු උල්පත ....
කුස දරාසිටි - පමණටම ලොව
ලබයිනම් මව්වරුන් - බුදුබව
අපේ අම්මේ - මේ භවේ නුඹ
නිවන නොලබන - කාරනා කිම...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)