Saturday, October 17, 2020

හරි වේදනයි මට...

කිසිදාක අල්ලගෙන 
බදාගන්නට බැරි
රත්වෙච්ච යවටය
උඹේ ඔය දිස්නෙට
මම වහවැටුන තමයි
උඹේ ඔය උනුහුමට
මං ආසයි තමයි
ඒත් බලාපං මා දිහා....
අතත් පිච්චිලා
පයත් පිච්චිලා
බඩත් පිච්චිලා
පපුවනම් දාලම ගිහිං
ඉතිරි වුනානම් ඉතිරි 
තොල්දෙක විතරයි...
ඒත්,
තුවාල කැලැල් එහෙමම...
උඹ මගෙන් ඈත් වුනත්
දැවිල්ලනම් අඩුවක් නෑ
වැඩිවෙනව ඕසෙට....

දාච්ච කැළැල් පිරුණු 
මගෙ සරුවාංගෙට
හන තියල පලයං දවසක
තවත් ඉඩ ඉතිරි තැනක් තියේනම්....
මම තුවාල වේලගන්නම් !

ඈත් නොවී ඈත්වෙන මේ නිමේෂෙට
මෙහෙම කවි ලියවෙනවනම්
ටක්කෙටම ඈත්වෙන දාට
කවි පොත් පිටින් ලියවෙයි.....



තනිවේවි එක්ටැම් ගේ......

එහෙ හැරෙන මෙහෙ හැරෙන
නැගිටින යලිත් ඇලවෙන
නින්ද අහලකත් නෑ
ජාමෙ පහුවෙලත් ගොඩක් කල්...

බඩගින්න යාන්තම්
නෑ ඒත්!! පිරිය යුතු බඩ පිරිල...
නැතත් බත් ඇට බඩේ 
හිත පිරිල බඩ පිරිල....

මේක කවියක් නෙවෙයි
මොකක්දෝ පද ගොඩක්
ඒත් මක්කරන්නද
හිතේ පිළිබිඹුව නෙව මේ....

හිතං එන්නේ මොනවද
ඒත් වෙන්නේ මොනවද
තකන්නේ කවුරුද
නොතකා ඉන්ට ඇහැකිද...









Friday, October 9, 2020

දුවන සිතිවිලි .....

එක තැනක නතරවුනු හිත
ආයෙමත් වල් වැදීලාදෝ
නිමිත්තක් ඇතුවමත් නොවෙයි
හැබැයි නැතුවාමත් නොවෙයි
අනේ මන්දා.....

අකීකරුයි දැං වෙනදටත් වඩා
දුවනවා දුවනවා ඔහේ
ඇසිල්ලක් ගානේ
නිවීසැනසිල්ලක් නැතුව....

මඩේ හිටවූ ඉන්න
මට වඩා සමබරයි
එහෙ වැනෙයි මෙහෙ වැනෙයි
සිත හැඟුම් පුබුදුවෙයි
යළි දුකින් බර කරයි
මොන මගුලක්ද අයියෝ.....




අවසන ඇරඹුනු ඇරඹුමක අවසනද.......

පද වැලුත් සිඳීගොස්
සිතිවිලිද ගල් ගැසී
අඳුර ලොව රජයනා
මැදියමෙහි ලියන්නෙමි ....

සුපුරුදුම අන්තයක්
හිමි එකම කතාවම
ගෙන තවත් නව වෙසක්
රැඟෙන්නේ නොවෙද මේ....

එක්සිත්වු මගේ සිත
අඩමාන වෙලා අද
අඩමාන ඔබේ සිත
එක්සිත්ව ගොසින්දෝ....

දෙසිත එකසිතක් වී
යෙහෙන් වැජඹෙනු මැනව
අකුල්හෙලනට සිතක්
කිකලෙකත් නොවීමැයි....

නමුදු නොනවතීවා
පැහැසර සිනාකැන්, ඉති !
මියයා නොදිය හැක
අමිලවු නිමල සෙනෙහස.....