Friday, June 15, 2018

මගෙන් වරදක් වුනිද මන්දා....

උඹෙ දුකත් මගේ දුක 
වගේමයි මට දැනුනෙ 
නොකියනා ලොකු බරක් 
සිතේ ඇති බව හැඟුනෙ 
උඹට පොඩි ඉසිඹුවක් 
දෙන්න විතරයි ඕනෙ 
අනේ ඒකට මගක් 
කොහෙද නෑ මට පෙනුනෙ ....


Thursday, June 14, 2018

ඇට නැති දිව .....

හිත ඇතත් ලියන්නට 
පද ගලපගනු බැරිව 
හිතේ පැසවමින් තව 
රිදුම් දෙන ඒ කවිය ....

පෙම් කවක් නොවේමැයි 
විරහවක්මද නොවේ 
මටද වැටහෙනු නොමැති 
පුරුදු සිතිවිල්ලක් ....

හිරු නැගෙන උදා යම 
ඇහැරෙනා මල් කැකුළු 
මුව දොවන කදෝපැණි 
තොල් සිඹින විහඟකැළ 
සුවඳ සිඹ හමන නළ 
සිත් තවන නෙත් පෙළන 
ලොව අඳුරු ඇසිල්ලක් ....

සඳ එබෙන සිනා දෙන 
තරු කැකුළු දඟකරන 
අසිරි විඳිනා රිසින් 
කුමුදු කැල නෙත් හරින 
නිශායම සිහිල් නළ 
සිතට කොඳුරා කියන 
හීං මැසිවිල්ලක් .... 

මොකද්දෝ මහ බරක් 
උඩින් තිබ්බා වගේ 
අස්වැසිල්ලක් නොමැති 
පාළු හිත තුල ඉපිද 
මගබලන නෙත් දොවා 
හොරෙන් රූරා වැටෙන 
මිතුරු කඳුළැල්ලක් ....

ඉබාගාතේ දුවන 
විටකදි අතරමංවන 
මමත් නොදැනම කොහෙද 
තැනක නතරව හඬන 
හිතට එන වදන් පෙළ 
අපිළිවෙලකට ගොතා 
මටසිළුටු නැතිව කල 
වචන ගැලපිල්ලක් .....




Saturday, June 9, 2018

බොර දිය....

මද අඳුර
අඩ දෙනෙත
හිරිපොදේ 
මද සිසිල
ඔබේ ගත
මුදු පහස
මා නෙතේ 
අනිමිසය
කය අවදි කලා නොව
පිබිදවී නව හැඟුම්
විරාගික පෙමාතුර
කුමන අරුමයක් දෝ....

රැකගනිමි ඒ හැඟුම්

මතක ලෙස දිවි පුරා
යලිත් මේවන් දිනක්
නොඒ මියෙනා තුරා....




Thursday, June 7, 2018

ආයෙමත් .....

විසිරි සිතිවිළි දසත 
නින්ද නැත නිදි යහන 
හිරකරයි පපු කුහර 
හෙලන හුස්මද නිතර 
දිවා රෑ දෙනෙත් යුග 
සොයන්නේ ඒ රුවම 
සවන් නිති තැවෙන්නේ 
සොයාදෝ වදන් පෙල 
මිරිඟුවම සොයා යන 
මුවැත්තෙකු ලෙසින් අද 
යළිදු පියවර නගමි 
මියෙන තෙක් ගිලන් හද ....


Wednesday, June 6, 2018

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා .....

ඇට්ටේරියා සුවඳ 
වියැකෙන්නටත් පෙර සිත 
තල් අරඹකදි දුටු
හීන්බෝවිටිය මල 

පළමු බැල්මෙන්ම සිත 
නොඇළුනා නොවේමැයි 
දැක නැතත් පුරුදු බව 
නොහැඟුනා නොවේමැයි 

කිතුල් ගස් නැග බොහෝ 
තණකොළද කැපූයෙම් 
අහිමි බව දැන දැනත් 
නිති ඇසුර පැතූයෙම් 
වැට කඩුළු මැද හොරෙන් 
සිතින් පෙම් කෙරූයෙම් 
රොස් පරොස්, කෙලි කවට 
එක ලෙසම දැරූයෙම්

අපොයි උඹෙ සිරික්කිය 
සිනා හඬ පරදයි උඩැක්කිය 
පද්දනා බක්කිය 
ලත් එකා පින් කලේ , බුක්තිය 

නැත නෙළන ආසා 
සිත පෙම් කලත් මේ සා 
ඇසිල්ලක් පාසා 
පාරපං හිත චෝර පූසා ........