හිත ඇතත් ලියන්නට
පද ගලපගනු බැරිව
හිතේ පැසවමින් තව
රිදුම් දෙන ඒ කවිය ....
පෙම් කවක් නොවේමැයි
විරහවක්මද නොවේ
මටද වැටහෙනු නොමැති
පුරුදු සිතිවිල්ලක් ....
හිරු නැගෙන උදා යම
ඇහැරෙනා මල් කැකුළු
මුව දොවන කදෝපැණි
තොල් සිඹින විහඟකැළ
සුවඳ සිඹ හමන නළ
සිත් තවන නෙත් පෙළන
ලොව අඳුරු ඇසිල්ලක් ....
සඳ එබෙන සිනා දෙන
තරු කැකුළු දඟකරන
අසිරි විඳිනා රිසින්
කුමුදු කැල නෙත් හරින
නිශායම සිහිල් නළ
සිතට කොඳුරා කියන
හීං මැසිවිල්ලක් ....
මොකද්දෝ මහ බරක්
උඩින් තිබ්බා වගේ
අස්වැසිල්ලක් නොමැති
පාළු හිත තුල ඉපිද
මගබලන නෙත් දොවා
හොරෙන් රූරා වැටෙන
මිතුරු කඳුළැල්ලක් ....
ඉබාගාතේ දුවන
විටකදි අතරමංවන
මමත් නොදැනම කොහෙද
තැනක නතරව හඬන
හිතට එන වදන් පෙළ
අපිළිවෙලකට ගොතා
මටසිළුටු නැතිව කල
වචන ගැලපිල්ලක් .....
No comments:
Post a Comment