Tuesday, December 3, 2013

නට තිලොව



ලා හිරු කිරණ පෙරඹර නැග අළුත් දිනේ 
මල් ගොමු පුබුදුවයි නෙක නෙක හොරෙන් හොරේ 
මේ හැම දැක දැකත් මගෙ සිත් මල අඳුරේ 
සැතපෙන අරුම බල තව මගෙ හිරු අවරේ....

සුදිළුනු හිරු ම'නුබ ටික ටික මියැදෙනවා 
එළි ලෙස කණමැදිරි තවමත් ළෙලදෙනවා 
හිරුත් මමත් හෙට වලපල්ලට යනවා 
දෙලොව එළිය කල පව පඩිසන් දෙනවා...

අවරින් ඉරක් නැගවිත් ලොව සරසාදෝ 
මළ හිරු නැවත දිදුළා දුල රැස් දේදෝ 
කවදා තුන් ලොවම යළි සුවපත් වේදෝ 
චපල සිතක් කල අරුමය මේ නේදෝ....


Thursday, October 31, 2013

නොදැන පෙම් බැන්දා නොව.....

සිඹිමි යළි යළිද මා
පතොක් මල තෙල දිලෙන
නිසා නොව එකම මල
මහද කතරට පිපුන,
නිසාවෙන් ආදරේ
සදා වෙනසක් නොවෙන....

කටු ඇනී ලේ ගලා
රිදුම් ගත්දෙන් දෙතොල
උණු කඳුළු මදි නොවේ
තවන්නට ඒ දෙතොල

ලේ කඳුළු තෙත උරා
දිළිහියන් මලේ නුඹ
ඒ බලා සිනාසෙමි
රිදෙන දෙතොලින්ම මම....


Saturday, September 28, 2013

නිමි නොනිමි....

අනිශ්චිත වූ අනාගතයක 
නිශ්චිතව නිමි නොනිමි සිතිවිලි  
පෙර ලෙසින් උණුහුමක් නොදැනෙන 
අතීතය දෙන නිමි නොනිමි එළි 
නිසල මුත් මුළු වාතලය අද 
තවත් නිවි නිවි දැවෙන දිවි එළි 
නවමු පැතුමක් නවමු සුවඳක් 
ලැබේවා හිනැහෙන්න හෙට යළි ....


Monday, September 23, 2013

ඔන්න මම නොකිව්වැයි කියන්නෙපා හාමිනේ...

දෙතුන් මසකට එපිට 
රහසෙම චපලකම් කර 
හරවා තිනෙත් නළලැස 
දවා හළු කල හෙයින්,
මා ලොව 
ඉදින් නටනෙම් මම 
ශිව සංහාර තාණ්ඩව 
කළ අභියෝග පිළිගෙන...

දැවී අලුවෙද්දෙන් 
තුන්ලොව මාද සමගින්...

 

නුඹේ තරම් මගෙහිත හයිය නෑ අම්මේ...

දෙපයින් පිටවුනත් 
අටපයින් නැවත ආවොත් 
මෙතෙක් වින්දා වගේ  
ඒ දුකත් 
නිහඬවම ඉවසපන් 
කඳුළු වැල් නොසලා...

නුඹේ කිරි ණය ගෙවන්නට 
පිනක් නැති මේ පුතතු හට 
සමාවී ගොඩගනින් 
මා පැහෙන නිරයෙන් 
සසර මතුදා බුදුවී...

Thursday, September 19, 2013

අනියත...

කාලෙකින් නොදුටු හිරු 
අද යළිත් හිනැහිලා 
අඳුරු බීරම පිරුණු 
හාත්පස එළිවෙලා...

ඒ ඉරේ කිරණ ලැබ 
තුටින් මුසපත් වෙලා 
මගෙ හිතේ පැතුම් මල් 
පොදි යළිත් සුපිපිලා...

 ලොවට හා මගෙ ලොවට 
වැහි අඳුර එන්නෙපා 
අහිංසක පැතුම් මල් 
හෙට පරව යන්නෙපා...




Wednesday, September 18, 2013

තවත් දවසක් ....

හැමදාමත් බලාපොරොත්තු කඩවෙන මගෙ ජීවිතේ 
තවත් එක දවසක් ....

ඒත් දැනෙන වේදනාව 
හැමදාම එකවගේම අළුත් ...

පුදුමයි ....


Tuesday, September 17, 2013

වැඩක් නෑ!


මේ වසේ නවම් මස
පළමුවැනිදා උදේ
සිටන් තෙක් බිනර මස
දහහතක් වූ දිනේ
කෙළි කවට සිනා රැළි
රණ්ඩු සරුවල් හා ඇඬිලි
දැකපු කණ්නාඩියෙන්
අදම අහපන් මලේ
මොකක්දෝ ප්‍රථිපලය
මම කරපු ආදරේ
එයත් උත්තර දේවි 
වැඩක් නෑ කියල! 

එදා නුඹ ගල්වුනත් 
අද මමයි ගල්වුනේ 
අදහගන්නට බැරුව, 
එච්චර තමයි වෙනස 
එදා වාගෙම අදත් 
නුඹ නුඹේවත් නොවෙයි .....

Monday, September 16, 2013

මංමුලාව...

විභාගය අත ලඟයි
අතින් පොත පත දුරයි
මුළු හිතම චංචලයි
මුහුදු වෙරළක් වගෙයි...

කඳුළු පිරි නෙත් කෙවෙණි
අකුරු වැල් බොඳ කරයි
මේ නුහුරු තනිය මා
හුස්ම සිරකර දමයි...

නිවස වෙත පලායමි 
නිදි ලොවේ සැඟවගමි 
පසමිතුරු මනුලොවේ 
ඉබාගාතේ ඇදෙමි...


Thursday, September 12, 2013

නන්නාඳුනන අප...

මගෙන් ලද ආදරය 
මද නිසා හැර ගියත් 
වෙනකෙකුගෙ තුරුලෙ සුව 
විඳවිඳම සැනසුනත් 
කඳුළු පිරි නෙතින් මට 
අයැදුවා  අමතකද 
පුරුදු සෙනෙහස දෙන්න 
හෙට දිනේදිත් තවත්.....

පුරුදු සෙනෙහස නැතත්
මිතුදමෙන්වත් උතුම්
සනසන්න සිතා ඔබ
මා අතරමන් කළත්
තනි නොකර දිවි කතර
දුරින් හිඳගෙන තවත් 
නිහඬබව දුරුකලා 
හොඳින් දන්නව ඔබත්.....


එපානම් ඒ ඇසුර
කුමට වෙහෙසෙමි තවත්
නුදුරු දුර සිතම හෙට
මකනු ඇත පාළුවත්
මගෙ වරද නොවේ මෙය
පෙර මෙන්ම අද දිනත්
සිනහවෙන් දිවිගෙවනු 

අද මෙන්ම හෙට දිනත්....



Wednesday, September 11, 2013

ඉස්තාලෙ වහන්නට - අනේ හොඳටම පරක්කුයි....

එකෝමත් එක කාලෙක 
ගිය මතකයට ආයෙත් 
මග හොයාගෙන අමාරුවෙන් 
lectures ගියාම....
මෙන්න මුන් කියනව, 
තව ඉතුරු දෙක තුනලු,
ඉතුරු ඔක්කොම කරලලු......! 























Tuesday, September 10, 2013

මග පහන් කල මැන පුරාහඳ.....

කුඩා කල මිස - විඳි සැපක් නැත
දුක තුරුළු කර - ගෙවූ දිවිමග
හඬා කඳුළින් - තෙත් කලේ නැත
සිනහවෙන් මුව - සැරසුවා මිස...

නැතක් කරදර - සිත් තැවුල්හැම 
පෙර නොවූ ලෙස - ආව පෙරදින 
ඉවසුවා මම - අචල කර සිත
සිතම පුදදී - දෙව්ලොවක් වෙත...

මමත් නොදැනම - එලොව පාමුල 
දියව ගියදා - මගෙ පැතුම් ලොව
ගොඩනගන්නට - නැවත ඒ ලොව 
දිරිය දුන් ඉම - නැගී ආ සඳ....

අදත් දිවිමග - තවත් බාධක 
නැගී එන දා - ලොව අඳුරුකර 
පෙනවනුව මග - පෙරට යන්නට 
පහණ් සඳකැන් - දිදුළවා නෙක....


සදා නොසිඳෙන කඳුළු උල්පත ....

කුස දරාසිටි - පමණටම ලොව 
ලබයිනම් මව්වරුන් - බුදුබව 
අපේ අම්මේ - මේ භවේ නුඹ 
නිවන නොලබන - කාරනා කිම...




Saturday, August 31, 2013

අවසරයි සමුගන්න ...

හිරුද  නැති  සඳුද නැති 
අඳුරු  වූ මගේ ලොව
තනිව පියවර නගමි 
පවස කඳුලින් නිවමි ....

තුටින් කල් ගෙවත්වා 
හිරු සඳුද මුළු ලොවද 
ඉතින් මා  නික්ම යමි
කවි සිතට වැට බඳිමි ....



Thursday, August 29, 2013

දෙමන්සල....

එක්ව ආ ගමන්මග 
දෙමන්සල හමුවෙලා 
උනුන් හා වෙළුණු අත් 
අනුන් හා පැටළිලා 
එක්ව ගතකළ මතක 
දෙස බළා හිනැහිලා 
ඉතින් පියවර නගමු 
කෙනෙක් ඇත මගබලා...



Wednesday, August 28, 2013

නොඒවා අමාවක....

විරහවෙන් පෙති ඇකිළුන 
කඳුළු විළ්තෙර මැලවුන 
මගේ සිත කඩුපුල
සිනාසුන බව ලියනෙම් 
මිතුරු සඳ එළියෙන්....




Monday, August 26, 2013

මිහිබට සඳ...

එකෝමත් එක දවසක 
තමන්ගෙම යැයි සිතූ වුන් 
බලාගත්කල ඉවත 
අමතකව ගිය සේ ඒ 
සොඳුරු අතීතය...

පුංචි කන්දක මුදුනත 
තරු පිපුණු රෑ අහසක 
සෙවනෙ පිපි මල් ගොමුවක 
සුවඳ විහිදෙන මොහොතක 

"මහත්තයො කොහෙද මේ මහ රෑ"

සුවපත් කළා සිත 
පමණින් මේ වදන් පෙළ 
කල්පයක් වැනි වීය 
අඩ අඩපැයක කාළය.... 




Sunday, August 25, 2013

පරසතු මලට ලියමි...

හඬවන්න බැරි නිසා
නවමු වූ පෙම් කුසුම
හඬවපන් නිතින් මා
මමයි මිලිනවු කුසුම
සුවඳින්ම සැනහියන්
නුදුර දුර කුසුම දෙන
මළ කුසුම පුදකරමි 
අනෙකෙකුගෙ දෙපා මුල.....


නොපිරෙන පැතුම....

ඔබේ තුරුලේ ඉඳන් 
වෙනකෙකුට කවි ලීමි 
නෙත් දිළිසුනේ නැතත් 
හදින් කඳුළැලි බීමි 
මගෙන් නොලැබෙන සතුට 
ඔබ ලබන බව දනිමි
වසන්තෙට කලින් ඔබ 
යළි එතැයි මග බලමි.... 


Saturday, August 24, 2013

වසත් සඳ උදාවෙද ...

කවිලියන්නට තරම් 
මෝරලා නැතත් තව 
කෙමෙන් දලු ලා වැඩෙන 
දෙපියල්වු පෙම් බිජුව 
මල් පිපෙන වසන්තය 
උදා වූවොතින් හෙට 
ලන්වෙලා මුමුණපන් 
ආදරෙන් මගෙ කනට 
කවි සිතම පුබුදුවා 
පෙම් කවක් ලියන්නට 
හෙමි හෙමින් අමතපන් 
මහත්තයො කියා මට .... 

Friday, August 23, 2013

ක්ෂිතිජයට ලියූ කව ....

හිරුට මා එපාවී 
සඳුට මා එපාවී
තනිව මියැදෙනා  විට
අඳුරේ ....
කොහෙන්දෝ පාත්වුනු 
කණමැදිරි එළියක් 
අස්වසයි  මගේ සිත
ඉසිමින් පිරිත් පැන් ...
සිතට තරවටු කරමි
නොවන් බොරුවට මුළා 
මෝඩද නැත්නම් අමතකද 
ගුටිකාපු හැටි 
හුළුඅත්තෙන් ....

වානේ පන්නරය ලැබූ හැටි ...

මගේ වත්තේ තිබුණු අඹ ගස 
මටත් නොදැනිම වැටෙන් පිට පැන 
ටකත් බැඳගෙන හඬ දෙවන රඟ
මගෙ නොවන බව කී උජාරුව ...

ටකේ දිස්නෙට මුලින් මගෙ ඇස 
කඳුලු  වැටුනට, තවත් නම් නෑ 
ටකය මොර දී සැමට කියපන් 
මගෙ නොවන බව , හඬන්නෑ මං ....




නොනිමි...


ගන්ධබ්බ ...